අධිකරණ නියෝගයට කලින් චොකා මල්ලි රට පැනලා

 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර මහතාට (චොකා මල්ලි) විදෙස් ගමන් තහනමක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළද, එම නියෝගය නිකුත් කිරීමට පෙරම ඔහු රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනාවරණය කරගෙන තිබේ. 
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනකුට ඔක්තෝබර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින්, ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණි.

කෙසේ වෙතත්, එම ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට CID කටයුතු කිරීමේදී අනාවරණය වී ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර මහතා අගෝස්තු 31 වැනිදා තායිලන්තය බලා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අනාවරණය කරගත් තොරතුරු CID විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.

2015 කහවත්ත මැතිවරණ සිද්ධිය

ප්‍රේමලාල් ජයසේකර මහතා සමඟ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ හිටපු කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන දෙදෙනාද අදාළ නඩුවේ විත්තිකරුවන් වේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකදී සිදුවූ වෙඩි තැබීමකින් ශාන්ත දොඩංගොඩ නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබුණි.

කෙසේ වෙතත්, පසුව අභියාචනාධිකරණය විසින් ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබිණි.

එම නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් ඝාතනයට ලක් වූ ශාන්ත දොඩංගොඩ මහතාගේ බිරිඳ විසින් ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී, ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනාට අදාළ නියෝග නිකුත් කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම අභියාචනය කැඳවා ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර මහතා විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබූ අතර, ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නලින් ලද්දුවහෙට්ටි, යූ.ආර්. ද සිල්වා සහ අනුජ ප්‍රේමරත්න පෙනී සිටියහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
 
premalal Jayasekera exits country before SC travel ban

Previous Post Next Post