Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News

    Tuesday, April 7, 2020

    ගමනේ කෙලවර කුමක්ද? - වික්ටර් අයිවන්

    මේ විඩියෝ පටයෙන් දැක්වෙන සිංගප්පූරුවේ විදේශ ඇමති ව්වියන් බාලක්‍රිෂ්නන් වසංගතය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදයට සිංගප්පූරුව මුහුන දෙන්න අපේක්ෂා කරන ආකාරය ගැන සාරගර්බ විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එවැනි සාරගර්බ කතා අපේ දේශපාලන තලයෙන් ඇසෙන්නෙම නැති තරම්.

    2015 සිට සිංගප්පූරුවේ විදේශ ඇමතිගෙන් මේ සංවාදය මට ආරම්බ කරන්න අවශ්‍ය වුනේ ඔහු ෆිජි ජාතික සම්භවයක් ඇති කෙනෙකු ලෙස සැලකෙතත් අජිත් කනකසුන්දරම් සිංගප්පූරුව හා ලංකාව අලලා ලියා තිබෙන "දෙරටක කතාන්දරය" නැමැති පොතේ ඔහු ගැන සදහන් කර තිබෙන්නෙ ලාංකික පවුල් පසුබිමක් ඇති කෙනෙකු ලෙස.

    කනකසුන්දරම් ගේ එම පොත ලංකාව හා සිංගප්පූරුව ගැන ලියවී තිබෙන ඉතා අගනා කෘතියයක්. ඔහු එහි 8වැනි පරිච්ඡේදය ‍යෙන් ලංකාවේ දමිලයින් ඔවුනට ලැබෙන දෙවැනි පෙලේ සැලකිලි නිසා කාණ්ඩ වශයෙන් ලංකාව අතහැරයන විට ලී කුවාන් යූ ඔවුන් අතර සිටි හොද මොලකාරයින් සිංගප්පූරුව ගොඩනැගීම සදහා යොදාගත් ආකාරය විස්තර කර තිබෙනවා.

    දෙවැනි පන්තියේ සැලකිලි නිසා ලංකාව අතහැර යන ප්‍රථම ලාංකික වර්ගික කණ්ඩායම වුනේ බර්ගර්වරුන්. අපි ඔවුන් හදුන්වන ලද්දේ තුප්පහි ලන්සින් හෝ කැරපොතු ලන්සීන් වශයෙනි. ලංකාව ඔවුන්ට ජීවත් වීමට සුදුසු රටක් නොවන බව තේරුම් ගිය විට ඔවුහූ නිදහසේ සිට තොග ගණනින් ලංකාව අතහැර ගියා.

    ලංකාවට නිදහස්වාදය හා ලිබරල් වාදය හදුන්වා දුන්නේ බර්ගර් වරුන්ය.ලාංකික ජාතිය ගොඩනගාගැනීමේ අවශ්‍යතාව ගැන කතා කල ප්‍රථමයන් වූයේද ඔවුහූය. ඔවුන් අතරද විශිෂ්ට ගනයේ මොලකරුවන් සිටියේය. පහසුවෙන් මතක් කරගත හැකි නම් කිහිපයක් මෙසේය.

    ඩේවිඩ් පේන්ටර්, ජෝර්ජ් කීට්, මහාචාර්ය ලුඩොවික්, ලයනල් වෙන්ට්, ජෙෆ්‍රි බාවා, පීටර් කෙනමන්, මයිකල් ඔන්ඩච්චි, බාබරා සන්සෝනි, ඩන්කන් වයිට්, ඈෂලි ඩිවෝස්, මයිකල් රොබට්ස් හා කාල් මුලර් ඒ අතර ප්‍රධාන වෙනවා.

    සිංහල අපේ ඊලග සතුරන් බවට පත්වූයේ දමිලයින්‍ ය. ලංකාවේ වර්ධනය වෙමින් පැවති වර්ග බේදවාදි ආකල්ප ඉදිරියේ තමන්ට ලංකාවේ අනාගතයක් නැති බව තේරුම් ගත් සමහරෙක් කල් ති‍යාම ලංකාව අතහැර යන්නට වූහ. සිංහල රාජ්‍ය ‍ භාශා පනතෙන් පසුවද තවත් පිරිසක් යන්නට ගියෝය. ඉන්පසු 83 කලුජූලියෙන් පසු එය මහා පරිමානයෙන් සිදුවන දෙයක් බවට පත් විය.

    මෙසේ ලංකාව අතහැර යන දමිලයින් අතර සිටි විශිෂ්ඨයින් සිංගප්පූරුව ගොඩ නැගීම සදහා ලී ක්වාන්යූ යොදාගත්තේය. සිංගප්පූරුව දියුනු රටක් බවට පත්කරන ක්‍රියාවලියේදී අපට එපාවූ ලාංකික දමිලයින් ඉටුකරන ලද කාර්යභාරය කැපී පෙනෙන සුලුය. මා මෙහි පහත සදහන් කරන්නේ අජිත් කනකසුන්ද‍රම් ගේ පොතේ එන චරිත වලින් කිහිපයක්.

    එස්. රාජරත්නම් ලී ක්වාන්‍යු ගේ සමීපතම සගයෙකු ලෙස ක්‍රියා කලා. දීර්ග කාලයක් විදේශ ඇමති දූරය හෙබවීය. පාසැල් ශිෂයන් හැම දිනකම පාසැලේ ආරම්භයේදී හඩනගා කියන ජාතික ප්‍රතිපත්තිය ලියා තිබෙන්නේ ඔහුය. යාපනයේ තවත් දමිලයෙකු වූ තාරමන් ශන්මුගරත්නම් නියෝජ්‍ය අගමැතිවරයා ලෙසද. සමස්ත ආර්ථික කටයුතු භාර ප්‍රධානියා ලෙසද ක්‍රියා කලේය.

    පරිපාලන තලයේ දැවැන්තයා බවට පත්වූයේ ජේ.වයි.එම් පිල්ලේය.ඔහු සිංගප්පූරු ගුවන් සේවයේ නිර්මාතෘ වරයා දා එහි ප්‍රථම සභාපති වරයාද වෙයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස ද ක්‍රියාකලේය. ලී ක්වාන් යූ ඔහු ගැන ලියා තිබෙන්නේ තමන්ගේ ඉතාම කාර්යක්ෂම හා කැපී පෙනෙන රාජ්‍යය සේවකයා වශයෙනි. වර්ථමානයේ ප්‍රධාන ආර්ථික උපදේශකයා වශයෙන් ක්‍රියා කරයි.

    සිංගප්පූරුවේ උපරිමාදිකරණයේ ලංකාවේ දමිල අය හතර දෙනෙකු සේවය කලේය. විනිසුරු සින්නදොරේ, විනිසුරු ඒ.පී රාජා(පසුව ලන්ඩනයේ මහා කොමසාරිස් ලෙස සේවයකලේය) විනිසුරු පන්චි කුමාරස්වාමි( පසු කලෙක පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන්ද සේවය කලේය) විනිසුරු කුලේන්ද්‍රන් ( උපරිමාදිකරණයේ ජේෂ්ඨම විනිසුරුවරයා) ඒ අය අතරින් ප්‍රධානය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බැබලෙන තත්වයක් හිමිකර ගත් ලාංකිකයින් අතර නළදරුවන් බිහිකිරීමේ පුරෝගාමියා වන මහාචාර්ය එස් එස් රත්නම්, කෘෂි රසායන හා මහජන සෞඛ්‍ය විෂයෙහි ප්‍රදාන පෙලේ ව්ද්‍යාඥයෙකු වන මහාචාර්ය ජෙයරාජ් ජයරත්නම්, ලෝක වෛද්‍ය සංගමයේ සභාපතිවරයෙකු වූ අරුල්කුමාර සබාරත්නම් හා ප්‍රමුක ස්නායු වෛද්‍ය වරයෙකුවු පුචේන්ද්‍රන් ප්‍රධාන වෙනවා.

    බැංකු ක්ෂේත්‍රයේ කැපීපෙනෙන තත්වයක් හිමිකරගත් ලංකාවේ දමිලයින් වනුයේ සිංගප්පූරුවෙ සංවර්ධන බැංකුවෙ සභාපති ජේ වයි එම් පිල්ලෙයි, ඕසීබීසී අධ්‍යක්ෂක මණ්ඩලයේ ලේකම් ලෙස ක්‍රියාකරන ඇලන් පද්මරාජා හා සිටි බැංකු ජාලයේ ගෝලීය මෙහෙයුම් සදහා තාක්ෂනික මධ්‍යස්ථානය පිහිටවූ අජිත් කනගසුන්දරම් යන අයවලුන් ය.

    ලංකාවේ සුලු ජාතින් පෙලන ප්‍රතිපත්තිය ලංකාවට දියුනු වීමට තිබෙන ඉඩ විශාල ප්‍රමාණයකට නැතිකලේය. හොද මොලකාරයින් ලංකාවට අහිමිකලේය. සිංගප්පූරුවේ දියුනුව කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් වු යේ ජාතික සමගිය හා ජාතික ඒකාග්‍ර තාවයයි.

    අපි පලමු වටයේදී බර්ගර් වරුන්ට ඉන්න එපා කොට ඔවුන් එලවා ගත්තේය. දෙවැනි වටයේදී දමිලයින්ට එසේ කලේය.දැන් තුන්වැනි වටයේදී මුස්ලිම් වරුන් සම්බන්ධයෙන්ද එවැනි ප්‍රතිපත්තියක් අනුගනනයකරමින් සිටී.ඊට පසු කව්ද? මේ ගමනේ කෙලවර කුමක්ද?


    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture