Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News

    Wednesday, April 22, 2020

    ජර්මන් කොමාන්ඩෝ භටයන් විසින් සිදුකළ මුසෝලිනි ගලවාගත් ”අයිෂේ මෙහෙයුම”

    ජයග‍්‍රාහකයාගේ කීර්තියෙන් පරාජිතයාගේ වීරත්වය වැසී යන බවට කියමනක් ඇත. ඉතිහාසය විසින් නැවත නැවත තහවුරු කළ මෙම කියමනේ සත්‍යතාවය තහවුරුකරන සිදුවීම් සමුදායක් දෙවන ලෝක යුද්ධ කාලසීමාවේදී ද ලොව තැනින් තැන සිදුව තිබේ. දෙවන ලෝක මහා සංග‍්‍රාම සමයේ ජයග‍්‍රාහක මිත‍්‍ර පාර්ශ්වයේ හමුදාවන්හි වීර ක‍්‍රියා සම්බන්ධ කථා ප‍්‍රවෘත්ති බොහෝ සංඛ්‍යාවක් අප අසා ඇති නමුදු අක්ෂ පක්‍ෂයේ හමුදාවන්හි වීරත්වය සම්බන්ධ තොරතුරු විරලය. ඔවුන් අයත් පෙරමුණේ පිළිගත නොහැකි දුෂ්ට අරමුණ පැහැදිලි නමුත් ඇතැම් සිදුවීම් සහ මෙහෙයුම්වලින් පිළිඹිඹු වන වීරත්වය සඟවා තැබීම සාධාරණ නැත.

    ලොව මෙතෙක් සිදුකළ අසීරු ගලවා ගැනීමේ මෙහෙයුම් අතර ප‍්‍රමුඛ ස්ථානයෙහිලා අදත් සැලකෙන අයිෂේ මෙහෙයුම එවැන්නකි. ඉතාලියේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් බෙනිටෝ මුසෝලිනි ගලවා ගැනීම සඳහා ජර්මන් කොමාන්ඩෝ භටයන් විසින් සිදුකළ විශිෂ්ට මෙහෙයුමේ කථාව මෙසේ දිග හැරේ.

    බෙනිටෝ මුසෝලිනි බලය අල්ලා ගැනීම

    දෙවන ලෝක මහා සංග‍්‍රාමය සඳහා අක්ෂ පක්‍ෂය වෙනුවෙන් එක්වූ ප‍්‍රධාන බලවතුන් තිදෙනෙක් ඇත. එම තිදෙනා නම් ජර්මනියේ ආඥාදායක හිට්ලර්, ඉතාලියේ ආඥාදායක බෙනිටෝ මුසෝලිනි සහ ජපානයේ හිරෝහිතෝ අධිරාජයාය. හිට්ලර් සහ මුසෝලිනි දෙදෙනාම හමුදා ආඥාපතීන් ලෙස කටයුතු කරමින් රාජ්‍ය නායකත්වය ලබාගත් අය වූ අතර දෙදෙනා අතර නොසැලෙන මිතුරුකමක්ද විය.

    දෙවන ලෝක මහා සංග‍්‍රාමය ඇරඹෙන විට ජර්මනියේ ආයෝමය බලය හිට්ලර් අත රඳා පැවතුන නමුත් ඉතාලියේ පරිපාලනමය තත්ත්වය ඊට මදක් වෙනස් විය.

    ඉතාලි රාජධානිය ලෙස හැඳින්වූ ඉතාලියේ එවකට වූ පාලනය රජ කෙනෙකුගෙන් සමන්විත විධායකයක් සහ අගමැති වරයෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායකයක් වශයෙන් ද්විත්ව පාලන තන්ත‍්‍රයකින් යුක්ත විය. 1900 රජකමට පැමිණි 3 වන වික්ටර් එම්මානුවෙල් රජු යටතේ විධායකය ක‍්‍රියාත්මක විය.

    1922 වසරේදී ව්‍යවස්ථාදායකයේ බලය අල්ලාගත් බෙනිටෝ මුසෝලිනිගේ ජාතික ෆැසිස්ට් පක්‍ෂය අගමැති ධුරය සඳහා බලය කේන්ද්‍රගත කරමින් ෆැසිස්ට් ඉතාලියක් ගොඩනැගූ අතර 1939 මැයි 22 ප‍්‍රසිද්ධ වානේ ගිවිසුම හෙවත් ජර්මන් ඉතාලි මිත‍්‍ර සන්ධාන ගිවිසුම අත්සන් කරමින් ඉතාලිය දෙවන ලෝක සංග‍්‍රාමය සඳහා ඇද දැමුවේය.

    මුසෝලිනි බලයෙන් නෙරපීම සහ අත්අඩංගුවට ගැනීම

    මෙම තත්ත්වය මත ඉතාලියේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා වර්ධනය වූ අතර 1943 මැදභාගය වන විට අප‍්‍රිකාවේ හා සෝවියට් දේශයේ යුද පෙරමුණු වලදී ජර්මන් ඉතාලි ඒකාබද්ධ හමුදාවන් ලැබූ පරාජයන් සහ මිත‍්‍ර හමුදා විසින් සිසිලිය ආක‍්‍රමණය කිරීමත්, රෝමයට බෝම්බ හෙළීමත් හේතුවෙන් 1943 ජූලි 26 වැනි දින 3 වන වික්ටර් එම්මානුවෙල් රජු මුසෝලිනිව අගමැති ධුරයෙන් නෙරපා හැර අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. නව අගමැති ලෙස ජෙනරල් පියෙට්‍රෝ බඩෙග්ලියෝග් පත් කරන ලදි.

    අත්අඩංගුවට ගත් මුසෝලිනි බේරා ගැනීම සඳහා හිට්ලර් විසින් උත්සාහ කරනු ඇති බවට වූ සැකය හේතුවෙන් ඔහු රඳවා තබාගත් ස්ථානය රහසිගතව තබා ගැනීමට කටයුතු කළ අතර ඉතාලියේ තැනින් තැනට රැගෙන යමින් ජර්මන් ඔත්තුකරුවන් නොමග යැවීමට කටයුතු කර තිබුණි. මුසෝලිනි අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉතාලිය යුද පෙරමුණෙන් ඉවත්ව යනු ඇතැයිද ඒ හේතුකොටගෙන ජර්මන් යුද පෙරමුණුවල බලය දුර්වල වනු ඇතැයිද බියවූ හිට්ලර් වහාම මුසෝලිනි මුදාගැනීම පිණිස මෙහෙයුමක් ආරම්භ කරන මෙන් ජර්මන් හමුදාවන්ට අණ දුන්නේය.


    මුසෝලිනි ගලවා ගැනීම සඳහා හිට්ලර්ගේ මැදිහත්වීම

    muso3මුසෝලිනි මුදාගැනීමේ මෙහෙයුම ඔපරේෂන් අයිෂේ ලෙස නම් කෙරුණ අතර එහි වගකීම හිට්ලර්ගේ සෘජු අණදීම යටතේ සහ ජෙනරල් ඔබර්ට් ස්ටුඩන්ට් ගේ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ ලූතිනන් ඔටෝ ස්කෝනි වෙත පවරනු ලැබීය. ඔටෝ ස්කෝනි හිට්ලර්ගේ නැගෙනහිර යුද පෙරමුණේ සටන් කරමින් සිටියදී තුවාල ලැබීම හේතුවෙන් නැවත ජර්මනියට පැමිණ ජර්මන් කොමාන්ඩෝ ඒකකවල උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. සෝවියට් යුද පෙරමුණුවල දැක්වූ දක්‍ෂතාව වෙනුවෙන් හිට්ලර්ගේ ”යකඩ කුරුසය” සම්මානය ලැබීමට සමත් වූ අයෙකි.

    මෙහෙයුමේ වගකීම පවරමින් හිට්ලර් ඔටෝ ස්කෝනිට මෙසේ පවසා ඇත. ”මට ඔබට භාරදීමට වැදගත් මෙහෙයුමක් ඇත. මගේ මිතුරා වන මුසෝලිනි ඊයේ දිනයේදී ඔහුගේ රජු විසින් පාවාදී අත්අඩංගුවට ගෙන ඇත. ඉතාලියේ ශ්‍රේෂ්ඨතම පුත‍්‍රයා අතහැරදැමීමට මට හැකියාවක් නැත. මුසෝලිනි යනු පුරාණ රෝමයේ උත්කෘෂ්ඨත්වයයි. අප විසින් ඔහු බේරා නොගතහොත් ඔවුන් නුදුරේදීම ඔහු මිත‍්‍ර හමුදා වෙත භාරදෙනු ඇත. මෙම වගකීම උපරිමයෙන් ඉටුකිරීමට ඔබ කටයුතු කළ යුතුය. මෙහෙයුම සාර්ථක වුවහොත් ඔබට උසස්වීමක් ලැබෙනු ඇත.

    යම් හෙයකින් මෙහෙයුම අසාර්ථක වුවහොත් ඔබේ මෙහෙයුම ප‍්‍රතික්ෂේප කිරීමට මට සිදුවනු ඇත. එසේ වුවහොත් ඔබ ස්වයං පෙළඹවීමකින් මෙම ක‍්‍රියාව කළ බව පවසමින් ජර්මනිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයකට සූදානම් විය යුතුය.” හිට්ලර්ගේ මෙම ප‍්‍රකාශය ඔහුගේ කෲර භාවයත් අනුකම්පා විරහිත ස්වභාවය මැනවින් විදහා පෙන්වයි.

    මුසෝලිනි රඳවා සිටි ස්ථානය සොයා ගැනීම

    ඔටෝ ස්කෝනි සහ ජෙනරාල් ඔබර්ට් ස්ටුඩන්ට් ඔත්තුකරුවන් පිරිසක් සමග වහාම ඉතාලිය වෙත පිටත්ව යන අතර මුසෝලිනි රඳවා සිටින ස්ථානය සොයා ගැනීමට විශාල උත්සාහයක් දරයි. ඉතාලි පොලීසිය මුසෝලිනි තැනින් තැනට රැගෙන යමින් සිටි අතර ඇතැම් විට ඉතාලියට අයත් දූපත්වලද රඳවා තැබිණි. ඔටෝ ස්කෝනි අසාර්ථක උත්සාහයන් කිහිපයකට පසුව මුසෝලිනි රඳවා සිටින ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට සමත් වන අතර වහාම ඒ බව හිට්ලර්ට දැනුම් දෙන ලදුව අයිෂේ මෙහෙයුම හෙවත් ”ග‍්‍රෑන්ඞ් සාසෝ ආක‍්‍රමණය” ක‍්‍රියාත්මක කිරීමට අණ ලබයි.

    ගුවන් විදුලි පණිවුඩයක් ග‍්‍රහණය කරගනිමින් කේතනය කරන ලද පණිවුඩය සාර්ථක ලෙස විකේතනය කරමින් දකුණු ඉතාලියේ ග‍්‍රෑන්ඞ් සාසෝ කලාපයේ ඇපෙනින් කඳුකරයේ පිහිටි නිවාඩු නිකේතනයක් වන ”කැම්පෝ ඉම්පෙරෙටෝර් හෝටලයේ” මුසෝලිනි රඳවා ඇති බව ඔටෝ ස්කෝනි හෙළිකරගෙන තිබුණි. හෝටලය මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක උසකින් පිහිටි භූමියක පිහිටා තිබුන අතර 200 ක පමණ ඉතාලි භට පිරිසක් හෝටලයේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණි.

    අයිෂේ මෙහෙයුම සැලසුම් කිරීම

    මෙහෙයුම සැලසුම් කිරීමේදී හෝටලය කඳු මුදුනක පිහිටා තිබුන බැවින් පැරෂුට් ගොඩ බැසීමක් මගින් ප‍්‍රහාරයක් එල්ල කිරීම සාර්ථක නොවනු ඇති බව තීරණය කෙරුණේ අධික සුළං තත්ත්වය හේතුවෙන් ඉලක්කය වෙත නිවැරදිව පතිතවීමට පැරෂුට් භටයන්ට නොහැකිවනු ඇති බවට නිගමනය කළ හෙයිනි. කෙසේ වෙතත් ගුවන් ඡුායාරූප නිරීක්‍ෂණයේදී පෙනී ගියේ හෝටලයට ආසන්නයෙන් පිහිටි තැනිතලා ඉඩමක් ග්ලයිඩර් ගුවන් යානා ගොඩ බැසීමක් සඳහා යොදාගත හැකි වනු ඇති බවයි. ඒ අනුව ග්ලයිඩර් ගොඩබැසීමක් මගින් ඉදිරියට යමින් ප‍්‍රහාරය දියත් කිරීමට තීරණය විය.(ග්ලයිඩර් යනු ජර්මනියේ නිෂ්පාදිත දිගු පියාපත් සහිත සැහැල්ලූ ගුවන් යානා විශේෂයකි. එංජිමේ ආධාරයකින් තොරව පාවී යාමේ ශක්‍යතාවය සහිත මෙම යානා අංශක 80% ක කෝණයකින් මීටර් 20 ක සීමාවක කෙටි ගොඩබැසීම් සිදුකළ හැකි යානා වන අතර එක් වරකදී නියමුවා සමග 12 දෙනෙකුට ගමන් කළ හැකිය.*

    මෙම මෙහෙයුම සඳහා ඔටෝ ස්කෝනි විසින් මෙහෙයවන ලද එස්.එස්.හමුදාවේ 502 වන ජෙගර් බළඇණිය සහ මේජර් හැරල්ඞ් මෝර්ස් විසින් මෙහෙයවන ලද දෙවන පැරෂුට් කාණ්ඩය සහභාගී විය. මෙහෙයුමේ සමස්ත සැලසුම සහ අණදීම මේජර් හැරල්ඞ් මෝස් විසින් සිදුකරන ලද අතර එස්.එස්.ප‍්‍රහාරක කණ්ඩායම ඔටෝ ස්කෝනි විසින් මෙහෙයවන ලදි.

    මෙහෙයුම ආරම්භ කිරීම

    1943 සැප්තැම්බර් 12 වැනි දින පැය 1305-1310 අතර කාලයේ මෙහෙයුම ආරම්භ වූ අතර ඞී.එෆ්.230 ග්ලයිඩර් යානා 12 ක් සහ බළඇණි දෙකට අයත් භටයන් 90 ක් පමණ රෝමයේ ප‍්‍රටිකා ඩි මාරේ ගුවන් කඳවුරෙන් මෙහෙයුම සඳහා පිටත් විය. ගුවන්ගත කිරීමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් ග්ලයිඩර් යානා දෙකක් අනතුරට ලක්වූ අතර මෙහෙයුමට පිටත්ව ගියේ යානා 10 ක් පමණි. මේජර් හැරල්ඞ් මෝස් විසින් මෙහෙයවන ලද පැරෂුට් කණ්ඩායම් දෙකක් පහළ මිටියාවතේ සිට හෝටලය වෙත වැටී තිබුණ දුම්රිය මාර්ගය අල්ලා ගත් අතර සන්නිවේදන රැහැන් කපා හැරීමට කටයුතු කරමින් බාහිර ප‍්‍රදේශ සමග වන සන්නිවේදනය අඩාල කළේය. දුම්රිය මාර්ගය අල්ලා ගැනීම මගින් මෙහෙයුම අතරතුර ඉතාලි හමුදා කණ්ඩායම් සහාය සඳහා පැමිණීම අවහිර කරන ලදි.

    ඔටෝ ස්කෝනි ඇතුළු කණ්ඩායම හෝටලය අසලට ලඟා වෙද්දී ඔහුට අවබෝධ වූයේ ගුවන් ඡුායාරූප මත පදනම්ව ගොඩබැසීම සඳහා තෝරාගත් ස්ථානය පිළිබඳ අදහස නිවැරදි නොවන බවයි. තැනිතලා භූමියක් ලෙස නිගමනය කළ භූමිය බෑවුම් සහිත වූ අතර ගල්, ගොඩැලි වැනි බාධකද සහිත විය. එම ස්ථානයේ ගොඩ බැසීම අපේක්‍ෂා කළ පරිදි සිදුකළ නොහැකි බව සැලකූ මේජර් මෝස් මෙහෙයුම ආපසු හැරවීම ගැනද කල්පනා කළේය. නමුත් ඔටෝ ස්කෝනි තීරණය කළේ අවදානම දරාගෙන ගොඩ බැසීම නියමිත පරිදි සිදු කිරීමටයි. ඒ අනුව බෑවුම් සහිත භූමියේ අතිශය අවදානම් සහිත ගොඩබැසීමක් සිදුකළ අතර ඔටෝ ස්කෝනි සිටි යානයේ නියමුවා දක්‍ෂ ලෙස යානය හෝටලයේ ප‍්‍රවේශ දොරටුවට මීටර් 20 ක් ආසන්නයෙන් යානය ගොබැස්සවීමට සමත් විය. එක් යානාවක් බෑවුම් සහිත භූමියේ පහළට ඇද වැටුන අතර භටයන් කිහිප දෙනෙකුට තුවාල සිදු විය.

    මුසෝලිනි ගලවා ගැනීම

    බලාපොරොත්තු රහිත ලෙස ජර්මන් කොමාන්ඩෝ භටයන් හෝටලයට කඩා වැදුන අතර ඔවුන් සමග පැමිණ සිටි ඉතාලි අප‍්‍රිකානු පොලීසියේ ජෙනරල් ප‍්‍රනෑන්ඩෝ සොලෙටි ඉතාලි භාෂාවෙන් කථා කරමින් හෝටලයේ සිටි ඉතාලි ආරක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ ජර්මන් භටයන්ට වෙඩි නොතබන ලෙසයි. වික්ෂිප්තභාවයට පත් ඉතාලි සොල්දාදුවන් පිරිස එක් උණ්ඩයක් වත් වෙඩි නොතැබූ අතර මිනිත්තු කිහිපයක් තුළ 200 පමණ වූ ඉතාලි සොල්දාදුවන් පිරිස යටත්කර ගනිමින් හෝටල් පරිශ‍්‍රය තම අණසකට ගැනීමට ජර්මන් භටයන් සමත් විය. ඔටෝ ස්කෝනි හෝටලයේ උඩුමහල වෙත දිවගොස් මුසෝලිනි සිටි කාමරය සොයා ගැනීමට වෙහෙසුන අතර අන්තිමේදී මුසෝලිනි ඉරිදිපිට සිටිමින් ඔහු හඬගා කීවේ ”ඉල් ඩියුස් (නායකයාණෙනි* ඔබ බේරා ගැනීම සඳහා හිට්ලර් මාව එව්වා...දැන් ඔබ නිදහස්...යනුවෙනි.”

    හැඟීම් බරවූ ආඥාදායකයා ඔටෝ ස්කෝනි වැළඳ ගනිමින් ”මම දැනගෙන හිටියා මගේ මිත‍්‍රයා කිසිදිනෙක මා තනි නොකරන බව” යයි කීවේය.

    මේ අතර පහළ මිටියාවතේ ප‍්‍රහාරක කණ්ඩායම සමග සිටි මේජර් මෝස්ද කන්ද නැග හෝටලය වෙතට ආ අතර මුසෝලිනි ඉදිරියේ පෙනී සිටි ඔහු හමුදා ආචාරය පුද කළේය. ප‍්‍රීතියෙන් සිනා සෙමින් සිටි ඉතාලි ආඥාදායකයා ඓතිහාසික ඡුායාරූප කිහිපයකටද මුහුණ දුන්නේය.

    රෝමය වෙත යන ගමනේදී ග්ලයිඩර් යානා වෙත ඉතාලි ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානම නිසාවෙන් මුසෝලිනි ආරක්‍ෂිතව රැගෙන යාම සඳහා ෆයිසෙලර් ෆයි 156 ස්ටෝල් කුඩා සැහැල්ලූ ගුවන් යානාවක් රැගෙන විත් තිබුණි. එය ජෙනරල් ඔබර්ට් ස්ටුඩන්ට්ගේ පෞද්ගලික ගුවන් යානාව වූ අතර මගීන් දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකිවන ලෙස නිපදවා තිබුන මෙම ගුවන් යානා කෙටි දුර සීමාවකදී ගුවන් ගත කිරීම සහ ගොඩ බෑම සිදුකිරීමට හැකි වන ලෙස සැලසුම් කරන ලද එකකි. මුසෝලිනි යානයට ගොඩවූ අතර එහි යා හැකි වූයේ නියමුවා සහ මුසෝලිනිට පමණි. නමුත් ඒ අවස්ථාවේ මුසෝලිනි දැඩිව ඉල්ලා සිටියේ ස්කෝසිනීටද යානයට ගොඩ වන ලෙසයි. ස්කෝසිනී යානයට ගොඩවූ අතර යානය සාර්ථක ලෙස කඳු මුදුනේ සිට ගුවනට පිවිසුණි. නමුත් නිර්දේශිත ප‍්‍රමාණයට වඩා යානය බර වැඩිවූ බැවින් ගුවන් යානය පහළ මිටියාවතට කඩා වැටෙන්නට මෙන් පහළට ඇදී ගියේය. නමුත් පළපුරුදු ජර්මන් හමුදා නියමුවා දක්‍ෂ ලෙස නැවත යානය ඉහලට ගැනීමට සමත් වූ අතර කෙටි වේලාවකදී සාර්ථක ලෙස ප‍්‍රටිකා ඩි මාරේ ගුවන් පථයට ගොඩ බැස්සවීමට සමත් විය.

    මුසෝලිනි රැගෙන යාම සඳහා ”හෙයින්කල් 111” ජර්මන් ගුවන් යානාවක් ප‍්‍රටිකා ඩි මාරේ ගුවන් පථයේ ඒ වන විටත් සූදානම්ව තිබුන අතර එයට නංවා ගන්නා ලද ආඥාදායකයා වහාම ඕස්ටි‍්‍රයාවේ වියානා වෙත රැගෙන යන ලද අතර එදින ඔහුට තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් වන ”ඉම්පීරියල් හෝටලයේ” රාත‍්‍රිය ගත කිරීමට සූදානම් කර තිබුණි.

    හිට්ලර් මුසෝලිනි හමුව

    සැප්තැම්බර් 14 වැනි දින මුසෝලිනි ජර්මනියේ මියුනිච් වෙත රැගෙන යන ලද අතර රස්ටන්බර්ග් අසල පිහිටි හිට්ලර්ගේ නැගෙනහිර පෙරමුණු මූලස්ථානය වූ ෆුහර් වූල්ෆ් ලෙයාර් හිදී හිට්ලර් මුණ ගැසීමට ඔහුට හැකි විය. තම පැරණි මිතුරා වැළඳගනිමින් උණුසුම් ලෙස පිළිගත් හිට්ලර් ඔහු පත්ව ඇති තත්ත්වය පිළිබඳ කනගාටු වූ නමුත් ඔහු තමන් අසල පණ පිටින් සිටීම පිළිබඳව සතුටු විය.

    ඔටෝ ස්කෝනි මේජර් තනතුරට උසස් කරමින් ”යකඩ කුරුසයේ නයිට් කුරුසය” හිට්ලර් විසින් ප‍්‍රදානය කරන ලද අතර ඔහු ”යුරෝපයේ භයානකම මිනිසා” ලෙස ප‍්‍රසිද්ධියට පත්විය. ජර්මන් ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානී රිස්ච්මාර්ෂල් හර්මන් ගෝං එස්.එස්. හමුදා ප‍්‍රධානී හෙම්රිච් හිට්ලර් සහ ප‍්‍රචාරක ඇමති ජෝෂප් ගොබෙල්ස් විසින් කඩා වැටුන නාසි ප‍්‍රතිරූපය ඔසවා තැබීමට උපරිම ලෙස මෙම මෙහෙයුමේ සාර්ථකත්වය භාවිතා කළ නමුත් ඇත්ත වශයෙන්ම මෙහෙයුම සැලසුම්කර, අණදෙමින්, ක‍්‍රියාත්මක කරන ලද්දේ පැරෂුට් ප‍්‍රහාරක ඒකකයේ මේජර් හැරල්ඞ් මෝස් විසිනි.

    අවසානය

    දෙවන ලෝක මහා සංග‍්‍රාමයේ මිත‍්‍ර පාර්ශ්වයේ නායකයා ලෙස කටයුතු කළ බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් අයිෂේ ප‍්‍රහාරය ඉතා නිර්භීත මෙහෙයුමක් ලෙස විස්තර කර තිබුණි. 1943 සැප්තැම්බර් අග භාගයේ හිට්ලර් විසින් උතුරු ඉතාලියේ ජර්මන් පාලන ප‍්‍රදේශයන්හි ඉතාලි සමාජවාදී ජනරජය නම් රූකඩ ආණ්ඩුවක් පිහිටුවා මුසෝලිනි නායකත්වයට පත්කළ නමුත් ඔහුට වැඩි කාලයක් ජීවත්වීමට හැකි වූයේ නැත. 1945 අපේ‍්‍රල් 25 වැනි දින මිත‍්‍ර හමුදා උතුරු ඉතාලිය ආක‍්‍රමණය කළ අතර ඉන් දින 3 කට පසු තම අනියම් බිරිඳ සමග ස්විස්ටර්ලන්තයට පලා යමින් සිටියදී ඉතාලි කොමියුනිස්ට් වාදීන් විසින් කොමෝවිල අසල මෙසෙග‍්‍රා ප‍්‍රදේශයේදී ඝාතනය කරනු ලදුව මළ සිරුරු මිලාන් වෙත ගෙන ගොස් කෙළ ගසා පාගා නිග‍්‍රයට පත්කර ආඥාදායකයෙකුට විය යුතු සේම වීදියක දෙකකුල් වලින් එල්ලා මහජන ප‍්‍රදර්ශනයට තබන ලදි.

    නන්දජීව සූරියබණ්ඩාර
    divaina

    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture