Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News

    Sunday, April 26, 2020

    කොරෝනා ආර්ථික බර ජනතාවට - කොරෝනා ආර්ථික සහන ආණ්ඩුවට - පාඨලී චම්පික රණවක

    ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් මත මුදල් ඇමතිවරයා විසින් නව බදු පනවා ඇත. ඒ ලෝක වෙළඳපොලේ සීග්‍රයෙන් අඩුවන පෙට්‍රල් හා ඩීසල් (මෙන්ම බොර තෙල්) මිල නිසා ඇතිවන අතිරේක ලාභය නව බදු මුදල් හරහා ආණ්ඩුවට ඇද ගැනීමටය.

    කොරෝනා නිසා ජීවන මං ඇහිරී සියලු ආර්ථික බර ජනතාවට පැටවී තිබේ. ස්වයංරැකියා හා සුළු හා මධ්‍ය පරිමාන රැකියා කළ ලක්ෂ 60 ක් අද ආදායම් අහිමිව සිටිති. පුද්ගලික අංශයේ සේවය කළ ලක්ෂ 26 ක් වූ බොහෝ සේවකයින්ට වැටුප් ලැබී නැති හෝ අඩ වැටුප් ලැබී ඇති තත්වයක් පවතී. එයින් ඇඟළුම් ක්ෂේත්‍රයේ ලක්ෂ 3ක් මහ මගය. රාජ්‍ය අංශයේ සේවය කළ ලක්ෂ 14 කට අතිකාල හා වැටුප් සීමා කර ඇත.

    කොරෝනා ආර්ථික බර එහෙම පිටින්ම ජනයා වෙත පටවා ඇත.

    කොරෝනා නිසා ආර්ථික වාසිද ඇතිවිය. තෙල් මිල හා ගල් අඟුරු මිල අඩුවීම එයින් ප්‍රධාන වේ. ඇමරිකාවේ අතිරික්ත තෙල් තොග බැරලයක් ඩොලර් (-40) බැගින් එනම්, ගෙන යන්නාට ගානක් ගෙවා විකිණීමට සිදුව තිබේ. මේ තත්වයේ වාසිය ආණ්ඩුව විසින් ජනතාවට ලබා දී නැත.

    සාමාන්‍ය තත්වයක් තුළදී (2020 ජනවාරි) දිනක ලංකාවේ පෙට්‍රල් භාවිතය මෙසේය.
    පෙට්‍රල් 92 - 4.495 මිලියන - ලීටර්
    පෙට්‍රල් 95 - 0.595 මිලියන - ලීටර්
    ඩීසල් - 5.979 මිලියන - ලීටර්
    සුපිරි ඩීසල් - 0.291 මිලියන - ලීටර්

    භූමිතෙල් ලීටර් මිලියන 3 ක් පමණද, දැවි තෙල් ලීටර් මිලියන 1.6 ක් පමණද භාවිත වේ.

    පසුගිය අප්‍රේල් මාසයේදී ආණ්ඩුව පෙට්‍රල් ගෙනැවිත් ඇත්තේ ඩොලර් 19 කටය. ප්‍රවාහන හා සියළු පරිපාලන වියදම් සහිතව,
    පෙට්‍රල් 92 - ලීටරයක් රු. 25 ක් වේ.
    පෙට්‍රල් 95 - ලීටරයක් රු. 26 ක් වේ.

    ඩීසල් බැරලයක් ගෙනැවිත් ඇත්තේ ඩොලර් 30 කටය. එනම්, සියලු ප්‍රවාහන වියදම් හා පරිපාලන වියදම් සහිතව, ඩීසල් ලීටරයක මිල රු.39 ක් වේ.

    (ඩොලරය රු.190 ක් හා බැරලයක ලීටර් ගණන 159 ක්ද, ප්‍රවාහන හා පරිපාලන වියදම 10% ක් ලෙස ගෙන ඇත.)

    එවිට ආසන්නයෙන් සෑම පෙට්‍රල් ලීටරයකින්ම ආණ්ඩුව ලබා ගන්නා බදු ආදායම රුපියල් 135 කි.

    දිනක ආණ්ඩුවේ ලාභය ආසන්නයෙන් (වර්ග දෙකෙන්ම) රුපියල් මිලියන 675 කි. වසරක ලාභය රුපියල් බිලියන 246 කි.

    ඩීසල් ලීටරයකින් ආණ්ඩුව ලබා ගන්නා බදු ආදායම සාමාන්‍යයක් ලෙස ආසන්නයෙන් රුපියල් 78 කි.

    දිනක ආණ්ඩුවේ ලාභය ආසන්නයෙන් (වර්ග දෙකෙන්ම) රුපියල් මිලියන 489 කි. එනම් වසරකට බිලියන 178 කි.

    සහගහන තෙල් බදු වලින් ආණ්ඩුවට ලැබෙන ආදායම රුපියල් බිලියන 424 කි.

    මේ මහා ලාභයෙන් කොටසක් පොදු ප්‍රවාහනය පාඩුවට දුවන (කොරෝනා නිසා) ලංගම හා පුද්ගලික බස්රථවලට නොදෙන්නේ ඇයි? අසරණ වී සිටින ධීවර ජනතාවට ලබා නොදෙන්නේ ඇයි?

    (වර්තමානයේ ඇඳිරි නීතිය නිසා තෙල් පරිභෝජනය අඩුවී ඇත. එහෙයින් ඉහත කී ආදායම් අඩුවීමට ඉඩ ඇති බවද සැලකිය යුතුය.)

    තෙල් පමණක් නොව, ගල් අඟුරු මිල ගණන්ද ඉතා පහල මට්ටමකට වැටී තිබේ. එමෙන්ම, ලංකාවේ විදුලිබල පරිභෝජනයද 40% කින් පමණ අඩුවී ඇති නිසා ගල් අඟුරු හා ජල විදුලියෙන් පමණක් විදුලිය ජනනය කළ හැකි තත්වයක් උදාවී තිබේ. විදුලි බිල අඩුවීම නිසා ජල ගාස්තුද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇත. ආණ්ඩුවට ජලය හා විදුලිය හි සහනය වහාම ජනතාවට ලබාදිය හැකිය. (පෙට්‍රල් හා ඩීසල් බදු වලින් ලැබෙන ලාභය ටින් මාලු හා පරිප්පු වලට ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය කීවේය. ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි, ටින්මාලු හා පරිප්පු විකිණුවද වසරකට ආනයන කරුවන්ට ලබාදීමට ආණ්ඩුවට සිදුවන්නේ බිලියන රු.4.5 ක මුදලකි. (එනම් තෙල් බදු වලින් ලබා ගන්නා බදු වලින් 1%කි). රවටන්නේ ජනතාවද, රැවටෙන්නේ තමන්ද යන බව ආණ්ඩුවට මතයක් නැති බව පැහැදිලිය. ටෙලිවිෂන් නාලිකා වල මෙගා කූඨ නාටක වලින් තවදුරටත් අර්බුදය සැඟවිය නොහැකිය. අවසානයේ ටින්මාලු හා පරිප්පුවල පුංචි සහනයද ජනතාවට අහිමි කරන්නට ආණ්ඩුවට සිදුවූයේ ආර්ථිකය ගැන මෙලෝ හසරක් ඔවුන් නොදන්නා නිසා බව පැහැදිලිය. පාර්ලිමේතුව රැස් නොකරන්නේ අන් කිසිවක් නිසා නොව, රාජපක්ෂවරුන්ට හිතුමතේ රටේ ආර්ථිකය හැරසිරවීමට ඉඩකඩ ලබාගැනීම සඳහාය.

    පීඩාවට පත් ජනතාවට තෙල්, ඩීසල් හා ගල් අගුරු බදු වලින් ලැබෙන ධනය වහා ලබාදිය යුතුය. මෙයට ආදර්ශයක් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 27 දා තෙල් මිල අඩු කිරීමෙන් එවකට බලශක්ති ඇමති ලෙස මා විසින් ලබාදුන් බවද නිහතමානීව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

    පාඨලී චම්පික රණවක

    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture