Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News


    Saturday, March 7, 2020

    ජේ.වී.පී. අප්පුහාමිලාගේ සිය දිවි නසාගැනීම.

     අරුණ ප්‍රේමරත්න.
    ජපාන ලේඛක යුකියෝ මිෂිමා 1970 නොවැම්බර් මස 25 වෙනි දින තමාගේ අනුගාමික තරුණයින් සිව් දෙනෙකු ද කැටුව ටෝකියෝවේ පිහිටි ආත්මාරක්ෂක බළකා මූලස්ථානය වෙත ගියා. එහි අණදෙන නිළධාරියා අත් අඩංගුවට ගෙන බැඳ දැමූ මේ පිරිස බළකාය මිදුලට රැස් කරන ලෙස ඔහුට බල කළා. අනතුරුව ගොඩනැගිල්ලේ බැල්කනියට පැමිණි මිෂිමා බළකාය අමතා කතාවක් කළේ සෙබළුන්ගේ උසුළු විසිළු මැද. ඔහු කතාව අවසන් කර ආපසු කාර්යාලය වෙත ගොස් සෙප්පුකු ක්‍රමයට සිය දිවි නසා ගත්තා.
    ඉන් මාස කීපයක් ඇවෑමෙන් 1971 අප්‍රෙල් 5 වෙනි දින, රෝහණ විජේවීරගේ අනුගාමිකයින් ගල්කටස් වර්ගයේ තුවක්කු කීපයක් හා ප්‍රාථමික බෝම්බ කීපයක් රැගෙන ලංකාවේ පොලීසියට හා සන්නද්ධ හමුදාවට පහර දී රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත වුණා.
    කිසිදු සාධනීය ලක්ෂණයක් නොමැති, බහුජන සහබාගීත්වයෙන් තොර, මෙවන් මනෝමූල අරගල නියත වශයෙන් ම අවසන් වන්නේ විනාශයෙන්.
    මෙරට පොදු සමාජයට මුලින් බියකරු අත්දැකීමක්ව පසුප හාස්‍යජනක අත්දැකීමක් බවට පිරිහෙළුණු මේ නැගිටීමේ දී සැඟවී උන් සාමාජිකයින් බොහොමයක් ආරක්ෂක අංශවලට අල්ලා දෙන ලද්දේ ගැමියන් විසින්. එම ව්‍යාපාරයත්, එයට සහබාගී වූ පිරිසත් ගැන පොදුජනතාව තුළ කිසිදු පැහැදීමක් හෝ අවබෝධයක් තිබුණේ නැහැ.
    මෙවන් අරගලවල දී මියගියවුන් ඇත්ත වශයෙන් ම හැඳින්විය යුත්තේ සියදිවි නසාගත්තවුන් ලෙස මිස වෙනත් ව්‍යාජ ආරෝපිත නම්වලින් නොවේ. ඔවුන් වීරයින් බවට පත් කිරීමෙන් සිදු වන්නේ අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශ සැපයීම පමණයි.
    1971 කැරැල්ල වෙනුවෙන් තරුණ තරුණියන් ඒක රාශී වූයේ නිවැරදි නායකත්ව ලක්ෂණ සහිත පුද්ගලයෙකු වටා නොවේ. ඔහු මේ පිරිසට පෙන්වාගෙන සිටියේ කථිකත්වයෙන් සෙළුව වසාගත් ව්‍යාජ ප්‍රතිරූපයක්. ඔහු සිය නොදැනුවත්කමත්, බියගුළු ස්වභාවයත් මේ සළුවෙන් කදිමට වසා ගත්තා. විචාර බුද්ධියෙන් තොර, ආවේගශීලී තරුණයින් හැර පුළුල් මහජන සහබාගීත්වයක් සිය ව්‍යාපාරය වෙනුවෙන් ලබා ගන්නට ද ඔහු බිය වුණේ එවන් පසුබිමක් තුළ තමාගේ නිරුවත හෙළිවන බව ඔහු දැන සිටි නිසයි.
    රෝහණ විජේවීර පළමුවරට අත් අඩංගුවට පත් වන්නේ 1970 අප්රේෙල් 12 වන දින හම්බන්තොට දී. එහි දී පොලිස් ස්ථානාධිපතිට ලබාදෙන කට උත්තරයේ දී ම ඔහු සිය ව්‍යාපාරය පාවා දෙනවා. තමාගේ සතුරන් යැයි සිතන පිරිස ගැනත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැනත් සියල්ල හෙළි කරන ඔහු දැන හෝ නොදැන තම ව්‍යාපාරයේ අභ්‍යන්තර ව්‍යුහය කවරාකාරදැයි පොලීසිය වෙත හෙළි කරනවා. ඔහු හෙලිකළ ඇතැමෙක් ඔහුගේ ව්‍යාපාරය වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කරමින් සිටි බව ඔහු අමතක කරනවා. මේ අවස්ථාවේ දී පවා ඔහු උනන්දු වන්නේ ව්‍යාපාරය තුළ තම නායකත්වය තහවුරු කර ගැනීම මිස පොදු අරමුණ පිළිබඳව නොවේ. (බලන්න. 1970.5.13. හම්බන්තොට පො.ස්. වෙත දුන් කට උත්තරය)
    1971 පෙබරවාරි මස 27 වන දා හයිඩ්පාක් රැලියෙන් උද්දාමයට පත්වන විජේවීර, තමාත් තම ව්‍යාපාරයත් ගැන අධිතක්සේරුවක් ඇති කර ගන්නවා. එහි දී තම රූපය සහිත සමරු විකිණීමට පවා පෙළඹෙන ඔහු, මතු දිනක දී අගමැති සිරිමාට දෙන දුරකථන ඇමතුමකින් රාජ්‍ය බලය තමාට පවරා ගැනීමට හැකියාව ඇතැයි උදම් අනනවා.
    රෝහණ විජේවීරගේ බියගුළු, අවස්ථාවාදී ස්වභාවය මනාව හෙළිවන්නේ 1971 මාර්තු 13 වන දින අම්පාරේ දී ඔහුව දෙවන වර අත් අඩංගුවට ගැනීමෙන් පසුවයි. රාජ්‍ය මර්ධනය උත්සන්න වීමත්, ජීවිත අවදානමක් සහිතව සිරගතව සිටින සිය නායකයා බේරා ගැනීම පිණිසත් පහරදීම ඉක්මන් කළ සිය අනුගාමිකයින්ව ඔහු අත් හැර දමන්නේ නිර්ලජ්ජිත ආකාරයෙන්.
    විජේවීර සිරෙන් නිදහස් කර ගැනීමට ජීවිත පූජාවෙන් එන පාසැල් ළමුන් ද සහිත කණ්ඩායම යාපනයේ සිරගෙදර ඔහුගේ සිර කුටිය අබියසටම පැමිණි නමුත් ඔහු නිශ්ශබ්දව සිටිමින් ඔවුන් සන්නද්ධ හමුදාවල තුවක්කුවට බිලි කරනවා.
    එයින් නොනවතින විජේවීර, රහස් පොලීසිය හමුවේ දෙන කට උත්තරයෙන් ව්‍යාපාරය ගැනත්, එයට සම්බන්ධවූවන් ගැනත් සියල්ල හෙලි කරන්නේ ඒ වන විටත් විල්පත්තු ආදී කැලෑ තුළ තමන්ගේ අනුගාමිකයින් ව්‍යාපාරය යළිත් ශක්තිමත් කිරීමේ දුෂ්කර අරගලයක නිරත වෙමින් සිටියේදී. මේ පාපොච්චාරණය අත් අඩංගුවට පත්වන කැරළිකරුවන්ගේ චිත්ත ධෛර්ය බිඳ දමා අභේක්ෂාභංගත්වයට පත් කිරීමට රජය යොදාගත්තා. මහ නඩුවේ දී කැරැල්ල පිළිබඳ වගකීම බාර නොගෙන එය තමාග් අනුදැනුමෙන් තොරව කරන ලද්දක් බව කියා සිටිමින්, පහරදීමේ තීරණය ගන්නා ලෙසත්, තමාව බේරා ගැනීමට 500 ක පිරිසක් යාපනයට එවන ලෙසත් එවූ පනිවුඩය ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඔහු පහරදීමේ වගකීම ලොකු අතුළ වෙත පවරා දෑත් සෝදා ගන්නේ තමා සිර දඬුවමින් නිදහස් වෙතැයි අපේක්ෂාවෙන්.
    මේ ලොකු අතුලට එරෙහිව කතා කළ විජේවීරගේම වදන්.
    ‘ඒ වගේම මම යෝජනා කරනවා බෝම්බ සෑදීමත්, පොලිසිවලට පහරදීමත් ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් නොවේය, ජවිපෙ තුළ ඔබේ ත්රගස්තවාදී කල්ලියේ තීරණයක් ය කියලා.‘
    ‘ඒ වගේම එය (පහරදීම) ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ විප්ලවවාදී ව්‍යාපාරයත් විනාශ කිරීම සඳහා කළ සාපරාධී ක්‍රියාවක්ය කියලා මම කියනවා.‘(1973.2.13 දින අ.යු.වි. කොමිෂන් සභා වාර්තාව)
    තමා විසින්ම අරඹා, තමා විසින්ම දියත් කළ පහරදීමක වගකීම බාර නොගෙන එය තවකෙකු පිට පවරා නොනැවතී එය සාපරාධී ක්‍රියාවක් ලෙස පවසන්නෙකුට රටක විප්ලවයකට නායකත්වය දිය හැකි ද?
    මේ මහා පාවාදීම ඉතිහාසය තුළ සඟවමින්, යලිත් දශකයකුත් වසර කීපයක් අවෑමෙන් මේ රටේ තරුණ ප්‍රජාව නොමඟ යැවීමට රෝහණ විජේවීරට හැකියාව ලැබුනේ ජේ. ආර්. ජයවර්ධන වැනි අදූරදර්ශී, ආත්මාර්ථකාමී දේශපාලකයින් එයට උවමනා පසුබිම සකසා තිබූ නිසා. එසේම රෝහණ විජේවීරගේ සහ කැරැල්ලේ ඉතිහාසය තත්වාකාරයෙන් තරුණ පරපුරට වටහා දීමට එයට සම්බන්ධ වූ වැඩිහිටි පරපුර ක්‍රියා නොකිරීම නිසා.
    1971 කැරැල්ල වැනි අගතිගාමී, මනෝමූල ප්‍රයත්නවල සැබෑව වසන් කරමින් ඒවා දේශප්‍රේමී, නිර්ධනපාන්තික හෝ ප්‍රගතිශීලී අරගල ලෙස උත්කර්ෂයට නැංවීමෙන් බරපතළ හානියක් සිදු වෙමින් තිබෙනවා. රෝහණ විජේවීර වැනි නායකත්වයේ සිංහ හමක් පොරවා ගත් කැනහිලුන්ට යලිත් පරපුරක් නොමග යැවීමට ඇති ඉඩ ඇසිරිය යුතුයි. එවන් නිෂ්ඵල අරගලවලින් ඉතිරිවන්නේ සිය දෙමාපියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන්, හිත මිතුරන් හා ඥාතීන් නිරපරාදේ අහිමි වූ ආකුළ සමාජයක් පමණයි
    (ඡායාරූපය - වමේ. 1970.09.25 දින ආත්මාරක්ෂක බළකා මූලස්ථානයේ දී සිය දිවි නසාගැනීමට පෙර අවසන් කතාව කරන යුකියෝ මිෂිමා. දකුණේ. 1971.02.27 දින හයිඩ්පාක් හිදී කැරැල්ලට පෙර අවසන් රැළිය අමතන රෝහණ විජේවීර.)
     අරුණ ප්‍රේමරත්න-
    (ඡායාරූපය - වමේ. 1970.09.25 දින ආත්මාරක්ෂක බළකා මූලස්ථානයේ දී සිය දිවි නසාගැනීමට පෙර අවසන් කතාව කරන යුකියෝ මිෂිමා. දකුණේ. 1971.02.27 දින හයිඩ්පාක් හිදී කැරැල්ලට පෙර අවසන් රැළිය අමතන රෝහණ විජේවීර.)

    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture